අමාරුම තැන අත් හරින්න.💛


ඉතින් මම සිය වෙනි වතාවට විතර එයාට යැව්වා මැසේජ් එකක්.

“ප්ලීස් මට වැඩ ඉවර වුණ ගමන් කෝල් එකක් දෙන්න, මම බලන් ඉන්නවා”.

ඒත් එයා මට කතා කළේ නැහැ. එයාගේ අන්තිම වචන පේළිය වුණේ “ ඔයා කොයි තරම් කිව්වත් මට ආයෙත් හැරෙන්න බැහැ. හිත හදාගන්න බලන්න.”

කොයි තරම් උත්සාහ කරත් මට එයාගෙන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් ගන්න බැරි වුණා. කරගන්නම දෙයක් නැති තැන  පැය ගාණක් එක දිගට ඇඬුවා.හිතේ තියෙන හැම දෙයක්ම හේදිලා යනවානම් කියලා හිත හිත.එයාව ඉල්ලලා නෙමෙයි.හිත හැදෙන්න කියලා.පන්සලේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා පැය ගාණක් දුක කිය කිය ඇඬුවා.

එයාගේ අන්තිම මැසේජ් එක දිහා බල බල මම කල්පනා කළේ එක දෙයයි.ඒ කලින් වගේම එයා ආයෙත් එයි කියලා.ඒත් මාස ගාණක් ගෙවෙද්දිත් එයා ආයේ නොආව තැනක මට දැනුනා එයා සම්පූර්ණයෙන්ම මඟෙන් ගිහින් කියලා.

ඒත් ඊට මාස දෙකකට විතර පස්සේ මට මැසේජ් එකක් ආවා.

“මට ඔයාව හම්බවෙන්න පුළුවන් ද”

ඒ වෙද්දිත් මගේ ගිතේ තිබුණේ මැරිච්ච හැඟීම් ටිකක් එක්ක මහා මූසල කළකිරුණ ගතියක්. හැබැයි මම දන්නවා මං මේ ලෝකේ අහන්න වගේම දකින්න කැමතිම මැසේජ් එකත් ඒක තමයි කියලා. ඒත් තනියම අඬ අඬා,නොකා, නොබී, වැඩ සියල්ල එක තැනක ගොඩ ගහලා, ගෙවිච්ච මාස දෙකකිනුත් පස්සේ ඒ මැසේජ් එක දැක්කම අමුතු හැඟීමක් මට ආවේ නැහැ. මට දැනුණේ දරා ගන්න බැරි තත්පර ගාණක් තනියම අමාරුවෙන් ගෙවලා ඉවර වුණාට පස්සේ තවත් හිතට අමුතුවෙන් ඒ දේ ගැන ගැඟීමක් ඉපදෙන්නෙ නැහැ කියලා විතරයි.ඒත් මම හිතේ තිබුණ අන්තිම ධෛර්‍ය් බිංදුවත් අරගෙන ටෙස්ට් එකක් ටයිප් කළා.

“ඔව් මම එන්නම් ඔයාව බලන්න. අන්තිම වතාවට.ආයෙත් කිසිම දවසක අපි හම්බවෙන එකක් නැහැ”

ඒක ටයිප් කරලා පැය ගාණක් කල්පනා කර කර ඉඳලා සෙන්ඩ් කරා. සෙන්ඩ් කරලාත් මම කළේ පැය ගාණක් කොට්ටෙ තෙත් කරපු එක..ඒ වෙනකනුත් ගැලරියේ ඔහු නමින් වෙන් වුණු ෆෝල්ඩර් එක, වගේම පැය ගණනක් ගත්ත කෝල්ස්වල සතුටට සේව් කරලා තියා ගත්තු ස්ක්‍රීන් ෂොට්ස්, පරණ චැට්ස් කිසි දෙයක් ඩිලීට් කර ගන්නවත්,ආයේත් බලන්නවත් මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද අමාරුවෙන් ආසාවෙන් බොහොම ප්‍රවේසමට පරිස්සම් කරපු දේවල් එක පාරට මකලා දාන්න බැහැ. බල බල අඬන්න හරි ඒවා තියාගන්න ඕන .පරණ දේවල් මතක් කරලා තනියම  අඬනවා කියන්නෙත් එක්තරා ආකාරෙකට ජීවිතේ විඳීමක් කියලා නානාප්‍රකාරයේ දේවල් එක්ක හිතින් ඔට්ටු වෙවී මම පැය ගණන්,දවස් ගාණක් කාලා දැම්මා.

හරියටම ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකේදි මට එයාව මුණ ගැහුණා. පළවෙනි පාරට මුණ ගැහුණ ,දවසේ ෂර්ට් එකත් එක්ක, කොණ්ඩෙ රැවුල කපලා නැති අපිළිවෙල මූණ මට පෙනුනේ වෙනදට වඩා ගොඩක් වෙනස් විදිහට. ඇත්තෙන්ම මම කලින් පෙම් කරපු ඒ අපිළිවෙල මූණ දැක්කම කිසිම හැඟීමක් මට දැනුනේ නැහැ. අඩුම දුකක් වත් සතුටක් වත් කිසිම හැඟීමක් නැතුව මම මූණ දිහා බලලා සුපුරුදු විදිහට හිනා වුණා. අපි නන්නාදුනන අය වගේ මුකුත්ම කතා නොකර වෙරළ මාවත දිගේ ඔහේ ඇවිදන් ගියා. අඩුම තරමින් මූණවත් නොබලා. මේ දවස් ගණන් මාස ගණන් ඕන කිය කිය නැහෙන්න හදපු මනුස්සයා නේද මගේ එහා පැත්තට වෙලා නන්නාදුනන ගාණට යන්නේ කියලා මම ඒ අස්සෙත් හිතුවා.

මෙච්ච්ර වෙලා අපි අතර තිබුණ නිහඬතාවය මහා අපහසුතාවයක් වගේ දැනෙනකොට වෙනදා වගේම මම මුලින් කතා කරා.

“විභාගේ ලේසි ද?”

“ඔව් ඒක හොඳට කරා” කියලා ටිකක් හයියෙන් හුස්මක් පිටකරන ගමන්.. හැඟීමක් නැති ගාණට එයා කිව්වා.

ඊටපස්සේ ටිකක් වෙලා මම දිහා බලන් ඉඳලා..

“ඔයා තවත් කෙට්ටු වෙලා, ඇස් ඉඳිමිලා” කියලා ඔහේ මාව පේන විදිහ කියන්න ගත්තා..

“මේ ඔක්කොම මම හින්දා, මම කරපු දෙයින් අන්තිමට හොඳක් වුනේ නැහැ. මාව අවුල් වෙලා, පාඩුවේ අහිංසකව හිටපු ඔයාවත් හොඳටම රිද්දපු එක විතරයි වුණේ. මම හැමදාම බොනවා. සිගරට් එකක් නැතුව දැන් මට ඉන්නවත් බැහැ..මම ලොකු වරදක් කරේ”

“හැමදාම වගේ ඔයාට වැරදි පටවගන්න එකෙන් දැන්වත් ඈත් වෙන්න, වරදක් කර ගන්න එපා. හොඳින් ඉන්න”කියලා  මම හිනා වුණේ තනියම අමාරුවෙන් දරා ගත්ත දුක ඔහු ඉදිරිපිට නැවත පෙන්නන්න අවශ්‍ය නැති නිසා මිසක් දුක නැති කමකට නෙවෙයි.

“කොහොමද ඔහොම හොඳට මං එක්ක හිනා වෙන්නෙ? මට ගහන්න තරම් තරහක් ඇති ඔයාට”

එයා කියවන්න පටන් ගත්තා.

එයාගේ මූණෙ තිබුණේ වැරැදි,කළ කිරීම් ,දුක මේ ඔක්කොම එකට එකතු වුණ හැඟීමක් කියලා මූණ බැලුව ගමන් වෙනදා වගේම මට දැනුනා.

ඉතිං මට තවත් කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.මම මූණෙ එහෙට මෙහෙට පැද්දෙන කොණ්ඩ කැරැල්ල කණ පිටිපස්සට දාන ගමන් සුපුරුදු විදිහට වේදනාව හංගන් හිනා වුණා.

“යන්නද?”

“පරිස්සමින් යන්න”

එයා යන්න ගියා.මං එයා යන දිහාව බලන් හිටියා.මට ලොකු තෘප්තිමත් හැඟීමක් දැනුනා.කාලයක් ජීවිතේම කරගෙන අහිමි කර ගන්න බයෙන් හිටිය එයාට එච්චර ලේසියෙන් යන්න දෙන පුළුවන් වුණ එක ගැන මට ලොකු තෘප්තියක් දැනුනා.

මං එදා රෑම ගෙදර ගිහින් ඉස්සෙල්ලාම කරේ ෆෝන් එකේ එයාගේ තවමත් ඩිලීට් කරලා නොතිබුණ චැට් එක ඕපන් කරපු එක.ඒ ඒක ඩිලීට් කරන්න.

“ප්ලීස් එකම එක කෝල් එකක් දෙන්න.”

මං ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා. මිනිස්සුන්ට තමන්ගේ අතීතෙ ගැන පසු තැවීමක් නොදැනෙන එක මොන තරම් පුදුම ද?එයා තවමත් එතනම.. කිසිම හැඟීමක් නැතුවම...

මම අපේ චැට් එක ඩිලීට් කරලා දැම්මා..

 

අනූ💚


Comments

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤