බැඳපු අය බැඳිලා නැහැ..බැඳුණු අය බැඳලා නැහැ..බැඳපු අය ඇත්තටම බැඳිලා ඉන්නේ වෙන තැනක..

 


“I Love You” තුන්සිය හැටපස් දවසේම කොහේ හරි මාධ්‍යකින් ඇහෙන හරි ,social media වල පෝස්ට්වල  ,එක එක පුද්ගලයාට දැනෙන විදිහට අනුව ලියවුණු වචන හරඹ වගේම, හරිම හුරුබුහුටිව ලිය වුණු සාහිත්‍යාංග වගේම ,ඒ වචන තුන ඇතුළේ ගොඩනැගෙන බොහෝ කතා ඔබ දැක ඇති! අසා ඇති!..

ඇත්තටම ආදරේ කරන්නෙ ඇඟට ද? ලස්සනට ද? ඇස්වලට ද? ආදරේට ද?

මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරනකොට අපට  ඒවා වර්ග 2 කට අපට බෙදා දැක්විය හැකි ය.

1.     විවාහ ජීවිතය.

2.     පවුල් ජීවිතය.

අපි සාමන්‍යයෙන් තනි වචනයක් විදිහට  කතා කරන විවාහ ජීවිතය හා පවුල් ජීවිතය කියන වචන ද්විත්වය ,එහෙමත් නැත්නම් Marriage Life & Family Life කියන්නේ තනි තේරුමකට නෙවෙයි. ඒ වචන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරුම් දෙකක් .හේතුව, විවාහ ජීවිතයේ පදනම “ නීතිය” වුවත් පවුල් ජීවිතයේ පදනම “ ආදරය”.

බටහිර ජාතීන් ශ්‍රී ලංකාවට ආගමනය වීමෙන් අනතුරුවයි “කසාද බඳිනවා” නැත්නම් “ Marriage ” යන වචන ශ්‍රී ලාංකේය ශබ්ද කෝශවලට එකතු වෙන්නේ. අප මහා බුදු පියාණන් වහන්සේ කිසි දිනක විවාහ ජීවිතයක් පිළිබඳ දේශනා නොකළ සේක. පවුල් ජීවිතය හා පවුල් සබඳතා පිළිබඳ දේශනා කළ ඇත. ස්වාමි - භාර්යයා යුතුකම් පිළිබඳ මනා කොට දේශනා කර ඇත.

අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත ගෙන ශිෂ්ටාචාරවත් ජන සමාජය වෙත හැරී බලන විට ස්ත්‍රියක්, පුරුෂයෙකුගේ අතිනත ගැනීමේ චාරිත්‍රය හැඳින්වූයේ “පවුල් වීම” ලෙස ය. එය තවමත් කටවහරේ යෙදෙන්නක් වුවද අතීතයේ එය බොහෝ සෙයින් ප්‍රචලිත වුණු වචන ඛණ්ඩයක් වීම සුවිශේෂීත්වයක් ගනී.එකළ පැවසූ ආකාරයට “පවුල් වුණාට පසුව පන්සල් වෙනවා”, පවුල් පන්සල් වෙනවා යැයි කටවහරේ භාවිත වූ අතර එය වත්මන් ජන සමාජය තුළ ද අඩු වැඩි වශයෙන් භාවිත වෙයි. මෑත කාලීන ජන සමාජය දෙස අවධානයෙන් බලන කල්හී ,දිනකට ඇති සිතාසි ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂණයක් කළ හොත් ඉන් වැඩි ප්‍රතිශතයක් දක්නට ඇත්තේ “දික්කසාදය” මත පදනම්ව යවනු ලැබූ සිතාසි වෙයි. මෙහි පදනම නැතහොත් සුල මුල බැලුවහොත් අපට දක්නට හැකි කරුණ වන්නේ “පවුල් වී පන්සල් වෙනවා වෙනුවට... පවුල් වී අවුල් වී ඇති බවකි.”

එකළ අපේ පැරැන්නෝ ,වත්මන තුළ “කසාදය” , “විවාහය” , ලෙස විවිධාකරයෙන් අරුත් සපයන මේ සංසිද්ධිය භාවිතා කළේ ඉතාමත් සරළ නමුත් අර්ථයෙන් ගැඹුරු කියමනක්. ඔවුන් කිව්වේ “ සහේට ඇන්න යනවා” , “සහේට ගෙනියනවා” මෙවැනි කියමන්.එනම්  සහයට එක්කර ගෙන යෑම. සුළැගිල්ලෙන් අල්ලගෙන “යමං නඟා” කියලා කිව්වම “හා යං අයියණ්ඩි” කියලා හරිම ආදරෙන් දෙන්නට දෙන්නා ජීවත් වෙන්න පුළුවන් කියලා තේරුම් අරන් ,මැරෙනකම් තනි නොතනියට හැමදේකටම ඉන්න,එකට ජීවත්වෙන්න, හැමදේම බෙදා ගන්න, එක් කර ගෙන  යෑමක් තමයි මේ විවාහය කියලා වචනාර්ථයෙන් අරුත් ගන්වන්න පුළුවනුත්.

කසාදය එහෙමත් නැත්නම් Marriage Life ලෙස හඳුන්වන්නේ “මේ නම දරන්නා වූ තැනැත්තා ,අහවල් නම් දරන තැනැත්තියව දෙයියම්පල්ලා භාර ගනිමි” කියන එක. ඒක තවදුරටත් කවදා හෝ දිනක එසේ භාර ගත් තැනැත්තා හෝ තැනත්තිය,යුග දිවියට පත් වු දෙපළෙන් එක් අයෙකු හෝ තමා එසේ භාර ගත්තේ නැති බවක්  කියයි කියලා ම දෙන්නෙක් සාක්ෂි ලෙස අත්සන් කිරීමක් සිදු කිරීම සම්ප්‍රදායක්. මේ විශ්වාසනීයත්වයේ සහතිකය නොවෙයි ද අවිශ්වාසනීයත්වයේ සහතිකය වෙන්නේ? විවාපත් යුවලෙන් අයෙක් කවදාම හෝ තමන් අත්සන් නොකළ බවක් පවසයි කියලා දෙදෙනෙක් සාක්ෂි ලෙස අත්සන් තබනවා. අවිශ්වාසයකට මුල පුරන්නේ මේ විශ්වාසයේ සහතිකය යි.

“විශ්වාසයෙන් බැඳෙන එකටයි “බඳිනවා” කියන්නේ.බැඳෙනවා කියන්නේ බඳිනවා කියන එක නෙවෙයි”.

බැඳෙන එක සාපේක්ෂව වෙනස්.

බැඳිලා බඳින්න පුළුවන්.

බැඳලා බැඳෙන්න පුළුවන්.

සමහරු බැඳලා ..නමුත් බැඳිලා නැහැ. ඔය අතර සමහරු බැඳිලා.. බැඳලා නැහැ.විශේෂම දේ සමහරු බැඳලා ..නමුත්  බැඳිලා ඉන්නෙ වෙන තැනක.මේ ආදරේ කියන්නේ මානසික මට්ටම්වලින් අන්‍යෝන්‍ය ලෙස බැඳිලා අධ්‍යාත්මය සමඟ බැඳිලා පසුව කායික ලෙස බැඳීමක්.මෙම බැඳීමේ පදනම විය යුත්තේ ආදරයම විනා අනිකක් නොවේ.ජීවිත කාලය පුරාවටම සෙනෙහෙවන්තකමට, ළෙන්ගතුකමට ,ආදරයට ජීවිතේ පරිත්‍යාග කළ ගැහැණුන්ට හා පිරිමින්ට මේ සටහන පූජාවක් විය යුතු ය. ඔවුන් වෙනුවෙනුයි මේ සටහන.

අටුවා ,ටීකා, පද, ප්‍රස්ථාර ලියවෙන ඔබත් මමත් හොයන,ඔය කාට කාටත් ලැබුණ,නො ලැබුණ වගේම ලැබිලා,නොලැබුණ ගණනට ඉන්න එකී මෙකී නොකී ඔය කවුරුත් අතර විඳින “ආදරය”, එසේත් නැත්නම් මේ බැඳීම, ආදරයෙන් බැඳීම, ගැන බොද්ධ දර්ශනය තුළ විවිධාකාරයේ උපමා, රූපක, නිදර්ශන ඇසුරින් දක්වා තිබේ.

“සුරඟන රූ සිරි මම දුටිමි-දුටිමි- හැඳින්නෙමි”.

ලස්සන ගැහැණියක් මම දුටුවා තමයි.

ස්වාමීනී , භාග්‍යවතුනි,

සිත් ලෙස දෙනුවන් බැඳන් ..

මම එය බැලුවත් තමයි..

මා හඳුනන මගෙ හද ගත් කළණිය..

මට නුදුරු යි..ඒ සුරඟනට වඩා”

නන්ද- ජනපද කල්‍යාණි කතා වස්තුවේ බුදුරඳුන් නන්ද හිමිට, සුරඟනක් පෙන්වා ජනපද කල්‍යාණි පිළිබඳ දැන් නුඹට හිතෙන්නේ කෙබඳු හැඟීමක් දැයි සංසන්ධනාත්මක ස්වරූපයෙන් ඇසුව කල්හී, නන්ද හිමි බුදුරඳුන් ට පිළිතුරු දුන් ආකාරය ඉහත කවි පදවලින් දක්වා ඇත.ඉන්පසුව නන්ද හිමියන්ට වැඳිරියක ගේ රුවක් පෙන්වා බුදුරදුන් නැවතවරක් විමසනවා , “ නන්ද ,දැන් ඔබේ ජනපද කල්‍යාණි පිළිබඳ කුමක් සිතෙන්නේ ද?” යැයි..

“ස්වාමීනි.. වැඳිරියකගේ රුව දුටුවම ජනපද කළ්‍යාණිය පිළිබඳ වෙනස් හැඟීමක් පහළ වෙන්නට නම් මම ආලය කළේ ඇගේ රුවට වන්නට ඕන. නමුත් මම ආලය කළේ “ජනපද කල්‍යාණි නම් මගේ ආදරේට” මම ඇත්තටම බැඳුනේ ආදරේට” ලෙස නන්ද හිමියන් බුදුරඳුන්ට උන්වහන්සේ ගිහි කල තම ආදරියට ආදරේ කළ ආකාරය විස්තර කරනවා.

ඇත්තටම “ආදරය” රන් කරඬුවක තබා ආරක්ෂා කළහොත් මියෙන් තුරා ආදරයෙන් බැඳිලා ඉන්නට හැකි වේවි.

“කසාදය” වැනි අකුරු සතරකින් ආදරය කෙළවරක්.. නිමක් විය යුතු නැත.ආදරය ඇත්තටම හිතට දැනුන ,දැනෙන සුන්දර මනෝභාවයක්.එය පෙර සඳහන් කළ ආකාරයටම ළෙන්ගතුකමක්..සෙනෙහෙවන්තකමක්..දයාබරත්වයක් විනා වෙන කිසිවක් නො විය යුතුය. “විවාහය” , “කසාදය” වනාහි වචන ආදරයට බාධාවකි.

 අපට මඟ හැරුණ ,ඔබ මඟ හැර ගත් සමහර බැඳීම් කල්පයක් නැවත හෙව්වත් නැවත කිසි දිනක මුණ නොගැසෙන සදාකාලික ළෙන්ගතුකම් වේවි.එවැනි බැඳීම් කිසි දිනක මඟ හැර ගන්න එපා.මේ මතක් කිරීම ඒ වෙනුවෙන්! එය තාවකාලික සැනසීමක් වුව ද සදාකාලික පසුතැවීමක් වනු නියත ය. ඉඳින්  ආදරේට ආදරේ කරන්න. ආදරයෙන් බැඳුණු බැඳීම වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම ප්‍රේමය කරන්න. වෙන තැනක නොබැඳී ආදරයෙන් බැඳුණු තැන පමණක්ම බැඳෙන්න!

 

අනූ💚

 


Comments

  1. වෙන තැනක බැඳීමක් තිබුනත්...වෙන මොන දේ තිබ්බත් සමහර හේතු නිසා මඟ හැරුනත්...එ බැඳීම් හිතේ තියෙනවා...හිත බැඳෙන තැන හිතට මිසක් ගතට අයිති නෑ ඉතින්

    ReplyDelete
  2. වෙන තැනක නොබැදී ආදරය කළ තැන පමණක් රැදෙන්න"
    🖤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤