ලිය හා කලාව💗

“විකසිත වත කමළේ, නෙත් බමරුන් පැටලේ... බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැළේ...”

“නාඬන් ඉතින් සොඳුරී මගේ..නොසිතා සිතා අතීතේ එදා.. බිඳුනාට මණිමේඛලා.. පිළිගන්නේ මා නුඹව සීතාව සේ..”

“සඳේ මන් කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරුවා කියා ඔබ දුටු දා.. සංසාරිණී මගේ .. නන්නාඳුනන්නියේ..මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...”

ඇය ගැන එදා මෙන් ම අදත් ලියවෙන වර්ණනා නම් බොහෝ ය. හදවතට ළබැඳි ය. කවුරුන් හෝ කෙනෙකු අපට ඇත්තේ අතීතයට පමණක් හිමි සුභාවිත ගීත කලාවක් යැයි පවසනවා නම් ඉහත පද වර්ණනා පෙන්විය යුතුම ය. “ආදරය  ඉපදෙන්නේත් මිය යන්නේත් ගැහැණියකගේ තුරුලේ” ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායක වරක පැවසූවා .ආදරයේදී පමණක් නොව ලිංගිකත්වයේදී පවා දරා ගැනීම් කරන්නේ ගැහැණිය යැයි පැවසූවට වැරදි නැත. අතීතයේ පමණක් ම නොව ඇතැම් විට ඊටත් වඩා ඉහළ මට්ටමකින් “ලිය” පිළිබඳ පුරාවෘත්තය එදත් අදත් හරි අපූරුවට සුමට ව මේ සිංහල භාෂාවට, අලංකාරවාදවලට, ජන ශ්‍රැතිවලට, කලාකරුවන්ගේ දස්කම්වලට පින්සිදු වන්නට තවමත් ලියැවෙමින් පවතී..

ස්ත්‍රී පුරුෂ සමාජභාවය ,නෛතික රාමු, මේ මොන පසුතලයකට අනුබද්ධව කතා කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි සැවොම මනුෂ්‍ය ජීවීන් වන්නෙමු. කුමන තැටියකට දමා කිරා බැලුවත් අවසන සෑම කෙනෙකුගේම ස්ත්‍රී හෝ පුරුෂ හෝ වෙනත් හෝ වේවා ..අවසන පැතුම මොහොතක සැනසීම ,නිදහස , ආදරය යන මේ කෙටි වචන නො වේද?

පෙර සඳහන් කළ ඇති ආකාරයට නන්නාදුනන කතකට පවා කිසිවක් නො සිතා පුරුෂයෙකුට ආලයෙන් බැඳෙන්නට හැකි නම්.. මනිමේඛලාවන් අහිමි වුණු කාන්තාවක් පවා හසඟනක් සේ පිළිගැනීමට අවැසි නම් දැන් දැන් ඉහළ මට්ටමකින් මුළු මහත් ලෝකයක් කම්පා කරන දූෂණ , මිනීමැරුම්,වංචා මේ දේවල් ඉහේ කෙස් ගණනට සිදුවන්නට තරම් ඔවුන්ට වැරදී ඇත්තේ කිනම් තැනක ද?

මේ සටහනේ අරමුණ දවසේ විසි හතර පැයේම ඇහෙන “ කාන්තාවන්ට නිසි තැන සම තැන ලබා දෙන්න.. ඇයව අගයන්න.. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, සීඩෝ ප්‍රඥප්තියේ කාන්තාවන්ට වෙනස් කොට සැළකීම පිළිබඳ මේ මේ නෛතික රාමූන් ඉදිරිපත් කර තිබෙනවා” වැනි දේවල් පුන පුනා කීම නම් නො වෙයි.. කුමන හෝ තත්වයක ..කුමන හෝ ගැටලුකාරී අපහසු තත්වයක වුව ද  මොහොතකට සැනසීමක් වුණු ජීවයක් “හිස කඳින් වෙන් කර ,කඳ පමණක් බෑගයක දමාගෙන යාමට, පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීමට, කෑලි කෑලි අමු අමුවේ කපලා මහ මඟ ඇති බෝක්කුවකට දමා යන්න..” ඔව් .. මේ සියල්ල වන්නේ මිනිසුන් අතිනි..මේ සැළසුම් කළ ඝාතන ද? හදිසි කෝපය නිසා වුණු ඛේදවාචකයන් ද? නෛතික තත්වය කුමක් සාධාරණීයකරණය කළ ද මේ සියල්ල මේ වන විට සිදුවෙමින් පවතින දේවල් ය. මිනිසුන්ගේ ඔළු ගෙඩිවල, චිත්ත සන්තානය තුළ හිස් වුණු තැන කොතන ද?

ඉහත මවිසින් ලියා ඇති පරිද්දෙන් මේ බිහිසුණු ඛේදවාචක සියල්ලනට ම හේතුව මොහොතක සැනසුමක් අපේක්ෂා කිරීම නො වේද? නමුත් අවසානය ,කෙළවර කොයිබට ද?

දස දෙස පතළ සුභාවිත කලාවක්..උරුම වන්නට තරම් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි කෙතරම් වාසනා කොට ඇති ද?  මේ සා අගනා කලාවකින් සුපෝෂිත වුණු අප මොහොතකට මේ කලාව තුළ ජීවත් වුවා නම් ජීවිතය තුළ හදිසියේ ඇතිවන ගිනි නිවීමට එය මහත් ප්‍රතිකාරයක් වනු ඇත. ඉහත දක්වා ඇති ගී පද ප්‍රභන්ද නොවනවානම් ඉතාමත් වටී. සෑම මිනිසෙකු ම හුරු පුරුදු කළ යුත්තේ  අපට දායාද වුණු  මේ සම්භාව්‍ය කලාවේ සිට නූතන කලාව දක්වා ඇති කෘති,මේ කලාව තුළ ඇති රසය විඳීමට ය. එවිට බොහෝමයක් ප්‍රචණ්ඩකාරී තත්වයන් සමනයට උචිත මානසික අවකාශයක් සෑම පුද්ගලයෙකුටම උරුම වනු ඇති.

මොහොතක සැනසුම මොහොතක වින්දනයකට ජීවිතයක් තොර කරන්නට තරම් නො මිනිසුන් මේ මිහිමත යළිත් නො ඉපෙදනවා නම් එය ජාතියක වාසනාවකි. පෙර පිනකි. ඔබ ආදරය කරන්න.. පොඩිම දේකින් සැනහෙන වගේම තවකෙකු පොඩිම දේකින් සනහන්න පුළුවන් ප්‍රේමියක් වන්න. කලාවට ආදරය කරන්න. එයින් ඇවිලෙන්න..එයින් නිවෙන්න.. එය ඔබට වටිනා දේ බොහෝමයක් ත්‍යාග කරාවි. සත්‍ය වශයෙන්ම මිනිසෙකු ලෝකයට දායාද කරාවි.

-ජයනි අනූෂිකා පෙරේරා.-


Comments

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤