ආයෙමත් !!!

 

බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ !
තත්පරෙන් තත්පරේ ,විනාඩියෙන් ,විනාඩිය, පැයෙන් පැය වේගයෙන් ඉඟිලෙද්දි හැමදාම මට තිබුණා මොකක්ද මන්දා බලාපොරොත්තුවක්..ඒක මෙන්න මේකයි කියලා මට මගේ අධ්‍යයන කටයුතු සම්බන්ධ ව, උපාධිය සම්බන්ධව ලඝු කර කියන්නට පුළුවන් වුණත් , මෙතන තියෙන්නෙ එහෙම හරි හැටි රවුම් කරලා, හැඩ කරලා ,උලුප්පලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක මම මගෙන් ඇහුවත් ඒ මොකක්ද කියලා මටවත් කියාගන්න බැරි දෙයක් ..නමුත් කළුවර තරු පිරුණ අහසකට, බස් එකේ කවුළුව අයිනේ කෙළවරේ අසුනකට ,හෙඩ් ෆෝන් එකකට, දිවුල්ගනේ සර්ගේ , ටී.එම් සර්ගේ, වික්ටර් රත්නායක සර්ගේ මුදු ස්වරයකට , හදවත කැකෑරවමින් සියොළඟම අවුලන්න පුළුවන් හැඟීම් සමුදායක් ඒක..
*******************************************
පැය ගණනාවක් ඉන්ස්ටග්‍රෑම් හරහා එක දිගට කෙටි පණිවිඩ හුවමාරුවේ අවසානය වුණේ මට එයාවත් ,එයාට මාවත් තව දුරටත් ආගන්තුක නොවුණ එක. එකම විනෝදාංශ, එකම විදිහට හිතන පතන ,එකම සංගීත රිද්ම හොයන ,එක සමානම නොවුණත් ....

" ඒ විදිහටත් මම කැමති"
" ඔයා හිතන විදිහට මම මාර කැමති"
" ඔයා එක්ක කතා කරනකොට මට පොඩ්ඩක්වත් කම්මැලි නෑ, මං වැඩිය කතා කරන්නෙ නෑ.ඒත් ඔයා එක්ක එහෙම කම්මැලි නැහැ".

නිතර කතා නොකරත් ,හැමදාම වගේ උදේට සුභ පතලා එන කෙටි පණිවිඩයත් එක්ක දවසට හුවමාරු වෙන කෙටි පණිවිඩ දහයක් තරම් පොඩි ප්‍රමාණයක් ඇතුළේ මොකක්ද මන්දා සමීප බවක් මට හැමදාම දැනුනා.

ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණා මැදිරි එළියටත් බයයි වගේ , එයාගේ ඊළඟ කෙටි පණිවිඩය ගැන අල්පයක්වත් අපේක්ෂාවක් නැතිව ඔහේ ඉන්න මට ඕන වුණා. දුරකථනයේ රහස්‍ය අංකය ලියන ඇසිල්ලෙන් මගේ ඇඟිලි තුඩු ඉබේටම එයාව සොයන එක නතර කර ගන්න මට ඕන වුණා. තත්පර ගාණක ඇසිල්ලකින් පිළිතුරු කෙටි පණිවිඩ එනකොට මට හිතෙනවා මේ උද්යෝගය පසු කාලීනව ටිකෙන් ටික හීන වෙයි නේද ? කියලා .... කෙටි පණිවිඩයක් දාලා පැය ගණනාවක් බලන් ඉන්න වෙයි නේද කියලා ... එයා අවසන් වරට ඔන්ලයින් හිටිය වෙලාව , මට කෙටි පණිවිඩයක් යොමු නොකෙරුවෙ ඇයි? මේ වගේ හිත හිත වද වෙන්න වෙයි කියලා මහා ලොකු අරගලයක් මං හිත ඇතුළේ කරන්න ගත්තා. බැඳීම් විසින් මාව මරන්න කලින් මං බැඳීම මරන්න උත්සාහ කරා.
" ඔව් .. එතකොට ..මහ රෑ පොත් දිහා බලං ඔලුවෙ කැක්කුම එනකං එයාව මතක් කරන්න...ෆෝන් එක අතට අරං ,
" ඉන්නවද ? "
කියලා කෙටි පණිවිඩයක් ලියලා ඒ ක්ෂණයෙන් මකලා දාලා ඩේටා ඕෆ් කරන්න... ෆෝන් එක අතට අරං හිත සැහැල්ලු කරගන්න ඕන කියන උවමනාව දස දහස් වාරයක් දැනෙනකොට ආයාසයෙන් ඒක මැඩගෙන...පොත දිහා බලං ඉන්න ඕන කාලයක් ආයෙත් එන එකක් නැහැ.

" ජීවිතේ වැඩි කාලයක් මම කළේ කෙනෙක් වෙනුවෙන් බලන් හිටිය එක"....
*********************************************

බැඳීම් ,ප්‍රේමය ,ආදරය කියලා ලං වුණු එව්වො නිසා "ප්‍රේමය " " බැඳීම් " කියලා දෙයක් තව තවත් මෙලොව පවතිනවා ද යන පැනය මගෙන්ම විමසන තත්වයටම මම ප්‍රේම කොට ඇත. ඒ බැඳීම් විසින් මගේ ගෙල සිරකොට මා මරා දැමීමට තැත් කළ අවස්ථා හමුවේ ප්‍රේමය,බැඳීම් යන වචන වලට වාච්‍යාර්ථ සැපයීමට තවදුරටත් මම පෙර ගමන් නොයමි.නමුදු මේ ලෝකය මෙලෙස පවතිනවා නම් එසේ වන්නට හේතුව ප්‍රේමය යැයි මම තදින් අදහමි. වැටී වැටී නැගිට නැගිට අපි ප්‍රේම කළ යුතුය . ප්‍රේමය වැළඳ ගත යුතුය.
*********************************************
"ගෙදරින් එද්දි කියන්න"

කොයිතරම් කලබලෙන් ලෑස්ති වුණත් පිළිතුරු කෙටි පණිවිඩයක් එක වචනෙන් හරි තියන එක මගේ පුරුද්ද..

"හා"
"6.30 am විතර වෙයි."

ඉක්මනින්ම එළියට ගිහින් පානදුර කඩවත අධිවේගී බස්‍ රථයට ගොඩවෙන්න තිබුණ නොයිවසිලිමත් බව හරිම අමුතුයි.
*******************************************

මේ බස් එක යනවා හෙමින් වැඩි ද? ආයෙත් කෝල් එකක් එන්න කලින් එතන්ට ගියා නම් හොඳයි..එයා ඇවිල්ලා ගොඩක් වෙලා නිසා ...මම පරක්කු වුණොත් ආපහු යයි ද? එකිනෙක පරයා යමින් නැගෙන සිතුවිලිවල නිමක් නැහැ.

පැයක ගමනත් , පානදුර - කඩවත අධිවේගී බස් රථයේ වායු සමනය කර වටපිටාවත් ,
හීනියට ඇහුන විශාරද වික්ටර් රත්නායකයන්ගේ " ආශා නිරාශා මැවූ " ගීතයේ නාද රටාත් නිසා නිදිමත ආවෙ පෙර දැනුම් දීමක් නොකරමයි.

"ට්‍රීක් ට්‍රීක් "

ෆෝන් එකේ දෙදෙරුම් හඬින් උඩ විසි වී අවදි වී කවුළුවෙන් එපිට බලන විට මම සිටින්නෙ අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණ නුවර - කොළඹ මාර්ගයෙ යැයි දැනුනු සැනින් ජංගම දුරක්ථයට ආ කෙටි පණිවිඩය දෙසට මම අවධානය යොමු කරෙමි.

" මම ඇවිල්ලා ඉන්නෙ"
" ඇඩ්මින් බිල්ඩින් එක ලඟ"
"රෙඩ් කලර් ඇල්ටො එක"

එතකන් නොයිවසිලිමත්ව ඉවසීමෙන් බලන් හිටිය මට කෙසේ හෝ මායා යන්ත්‍රයක ආධාරයෙන් හෝ ඇඩ්මින් බිල්ඩින් එක ලඟට යෑමට උවමනා විය.

නුවර - කොළඹ ප්‍රධාන මාවත ඔස්සේ විනාඩි 15ක ගමනක් සරසවි නැවතුම වෙත යා යුතුය. ඒ අතර තුර නැවතත් ද වට්ස් ඇප් ඇමතුමක් ...
"ඉන්න විනාඩි 5 කින් ඔතන"

සරසවි මාවත පෙනෙන මානය ලං වන විට... විවිධාකාර‍යේ හැඟීම් සමුදායක් සමඟ සියොළඟම වෙව්ලන තරම් ආගන්තුක බවකින් කැලණි කන්ද නගින්නට වූ බව තදින් මතකයේ සටහන්ව ඇත.
කැලණි කන්ද තරණය කිරීම සරසවි විද්‍යාර්ථීන් හැරුණු කොට විශ්වවිද්‍යාල භුමියට පිටස්තර වූවන්ගේ එතරම් ප්‍රිය මනාප කාර්‍යයක් නොවූයේ දරා ගත නොහැකි ගිනි ගහන අව් රශ්මියත් , තොළ කට වියළෙන පිපාසයත් , කෙසේ හෝ දරා ගනිමින් මෙම කන්ද තරණය කළ යුතු වීමත් නිසාය.

එයාට මම කැලණි කන්ද නැග එන බව නොකියාම මට ඇඩ්මින් බිල්ඩින් එක අසලට යාමට සිත් විය. ඔහුව පුදුම කරවීමට ද සිතක් විය. නමුත් ඇඩ්මින් බිල්ඩින් එක අසළ ඔහු කියූ පරිද්දෙන් රතු පැහැති ඇල්ටෝ රථයක් නොමැති විය.

මම ඇමතුමක් නොගෙනම හිස ඒ මේ අත කරකවමින් මින් පෙර කිසි දිනක නොදුටු ඔහු සොයන්නට වීමි.

අඩි 6ක් පමණ උස ,දේහධාරී , තලෙලු , මුහුණ පුරාවට ඇති ගාණට කපපු රැවුලකින් යුතු පුද්ගලයෙක් එක් වරම මා ඉදිරිපස නතර කර රතු පැහැති මෝටර් රථය ඇතුළින් මට පෙනෙන්නට විය.

වෘත්තියෙන් සාගර ඉන්ජිනේරුවරයෙක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුබද්ධව සේවය කරන ඔහු ලුතිනන් වරයෙකි.මින් පෙර සජීවීව දැක නොතිබුණ ද වට්ස් ඇප් ඇමතුම් වලින් මා ඔහුව හොඳින් දැක ඇත. කිසිඳු වෙනසක් නැතිවම මේ ඔහුමයි. ඒ දුඹුරු පැහැති ඇස්, සිනාසෙන අයුරු එලෙසමයි..

මා අසළටම ගත් මෝටර් රථයේ නලාව නාද කොට ඔහු මා හඳුනා ගත් බවක් දැක්වීය.

"හායි"
"ගුඩ් මෝර්නින්ග්!"

මොහොතකට ගල් ගැසී ඔහු දෙස බලන් සිටි මා මුලින්ම පිළිගත්තෙ ඔහුයි.

එයාට තිබුණේ මාව මත් කරන්න පුළුවන් හඬක් වගේම , මම ආසම කරන විදිහෙ පිළිවෙලක්..
මෝටර් රථය තුළට පිවිසි විටම මට එය හොඳින් වැටහෙන්නට විය.

ඉස්සරහින්ම තිබුණ බුදු පිළිමෙ , එයාර් පොකට්ස් වලින් නැඟුණ මිහිරි සුවඳ, ඩයරි එක ,පෑන , වතුර බෝතලය ,පාපිස්නා, ටිශූ පෙට්ටියක් ,මේ සියල්ල පිළිවෙලට අසුරා තිබුණා.

" ෂීට් බෙල්ට් එක දා ගන්න"
"ඇස් වලින් හිනා වෙන ගමන් කියමින්..වට පිට බලමින් සෙමින් වාහනය ඔහු ඉදිරියට පදවන්නට විය.

" මම ඔයා එන්න වෙලාව තිබුණ නිසා මේ වටේම ඩ්‍රයව් කරා.මේ කැම්පස් එක හරි ලස්සනයි නේද"
"වංකගිරිය වගේ"
"දන්නෙ නැතුව ගියොත් අතරමං වෙනවා"
"මේ යන්නෙ ඔක්කොම කැම්පස් කපල්ස් ද?"

මෙතෙක් වේලාවක් අපි අතර පැවති ගැඹුරු නිශ්ශබ්දතාවය බිඳිමින් ඔහු මා දෙස බලමින් කියාගෙන කියාගෙන ගියා.
ඔහුට මා සමඟ දොඩමලු වීමට අවැසි වී ඇති බව දැන් දැන් මට දැනෙන්නට විය.

" ඔව්ව්, කැම්පස් එකේ නොවන කපල්සුත් ඉන්නවා"
"අපරාදේ මටත් කැම්පස් යන්න තිබුණෙ"
ඔහුගේ පිළිතුරෙන් වික්ෂිප්තව ,සිනහසෙමින් ...
අහ් ඔයා මොකටද කැම්පස් යන්නෙ? දැන් ඔයා කරන එක ඊට වැඩිය හොඳයිනෙ..

යනුවෙන් මම එක් වරම කෑ ගසන්නට විය.

"ඇයි?" "කැම්පස් වගේ නෙවෙයි අනේ ඒවා." අපි ජීවිතෙ වින්දෙ නෑ.අපි වැඩි හරියක් කරේ කටු කාපු එක.
සුසුමක් පිට කරමින්..මිලිටරි පුහුණුවේ තිබූ කටුක තැන් මෙන්ම රස මුසු තැන් ඔහු මා සමඟ විස්තර කරන්නට විය.

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

"අපි කොහෙද යන්නෙ?"
යනුවෙන් එක්වරම පුදුමයෙන් මෙන් ඔහු මගෙන් අසන්නට වූයේ අපි යන්නේ කොහෙදැයි තීරණයකින් තොරව ඔහේ පාර දිගේ ඉදිරියට යන වගක් ඔහුට දැනුන නිසාවෙන් විය හැකිය.

"කොහේ හරි"
ලෙස කෙටි පිළිතුරක් පමණක් මා දුන්නේ ඔහු මා ගැන පමණටත් වැඩියෙන් දන්නා නිසාය.
දෑස් වලින් සිනහ නඟන ඔහුගේ මුව කිසිදු විටක විශාල සිනහවකින් දීප්තිමත් නොවේ. ඔහුගේ වැඩිය සිනාසෙන්නෙ නැති , තරමකට සිනහසෙන, අහංකාර ,තද බවට මම දැඩි සේ ඇලුම් කළෙමි.
*********************************************
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වුණ මෝටර් රථය මට හුරු පුරුදු පහන් කණු , ලයිට් බෝර්ඩ්, වෙළඳ සැල්, සුපර් මා‍ර්කට් පසු කරන් ,වැල්ලවත්ත රියෝ අයිස් ක්‍රීම් එකත් පසු කරන් වැල්ලවත්ත වෙරළ තීරයට ඇදෙන්නට විය. මගේ ළමා කාලය ගත වුණේ මගේ අම්මගේ උපන් ප්‍රදේශය මේ වැල්ලවත්තෙහිය. සිංහල,දමිළ,මුස්ලිම්, මැලේ ඕනම ජාතියක මිනිසුන් සමව වෙසෙන ...හිතවත්ව "හෙලෝ" යනුවෙන් හෝ හිතවතුන් අමතන ,කොන්ක්‍රීට් බිල්ඩින් වලින් පිරුණ , දස අත තාප්ප වලින් වට වුණ මේ කොළඹ අහස යට මට හුඟක් ළබැඳි ය.
නාගරික බවේ හිණි පෙත්තටම ගියත් බලන හැම මොහොතකම වැල්ලවත්ත දකින ඕනෑම මොහොතක ළමා කාලයේ මතක වලින් මා පුරවාලීමට මේ නගරයට හැකිය.
"දූවිලි සුළඟින් පිරුණත් ඉපදුණ නගරේ"
"මට නුපුරුදු ගමට යන්න බෑ"
"මේ නගරේ අත් හරින්න බෑ"
අතුල අධිකාරි ,සමිතා මුදුන්කොටුව ගායන ශිල්පී සුසංයෝගයේ මම ආසම ගීයක කොටසක් මට මතක් විය.
********************************************
"ඉතින්"
ඔහුගේ ශක්තිමත් බාහු යුගලයෙන් මගේ ගෙල සිරවෙන ,නොවෙන තරමට කර වටා අතක් දමාගෙන ඔහු මා අසන්නට විය.

" උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ ..
"මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ..
"මේඝ වර්ෂා කඩා හැලුණේ සේද යහනාවේ"
දෝරේ යන මේ හැඟුම් ගංගා ඔහේ සැලුණාවේ"

වාහනයේ කුඩා ගුවන්විදුලි යන්ත්‍රයෙන් නැගෙන ධනිත් ශ්‍රී ගේ හඬත් අපිටම ගැළපුණි.

ඔහු නොමැතිව ගෙවා දැමූ දිගු පැය ගණන්.. නිදිවර්ජිත රැයවල් ගෙවා දමන්නට උදවු කළ ගැලරියේ හැම තැනම ඇති නිල් ,සුදු නිළ ඇඳුමින් සැරසුණු ඔහුගේ ඡායාරූප එකතුව.. මේ සියලු අජීවී දවස් ගණනාවකට පසු අද ඔහු මගේ අනෙක් පස සිටී. ඔහු නොමැතිව ගෙවූ කාලය ගැන පවසමින් ඔහු තදින් වැළඳගෙන කෑ ගසා හඬන්නට සිත් වූ නමුත් ඒ ආවේගයන් සියල්ල වළකා ගෙන මම නොසැළී සිටියේ ඔහු මා තුළින් දකින සුවිසල් පෞරුෂය කඳුළු වලින් ඔහු ඉදිරියේ දිය කර හරින්නට නොවුමනා නිසා ය.

මට ඔහු දෙසම බලන් සිටින්නට සිත් විය. මම ආසම ඔහුගේ දැවැන්ත පෞරුෂය හමුවේ සුවච කීකරුව ඔහු කියනා දෙය හොඳින් අසා සිටීමට ය.
" ඔයාගේ කොණ්ඩෙ හරිම ශෝක්"
" කර්ල් කොණ්ඩ හැමෝටම නෑ"
"මේක කපන්න නම් එපා"
"පාට කරන්නත් එපා"
"ඔහොම තියා ගන්න, මුකුත්ම කරන්න එපා"
එයා මාව දකින්න ආසම විදිහ ඒ...

"ට්‍රීක් ට්‍රීක්"
ඔහු වෙත ඇමතුමකි.
"අයියෝ ගෙදර ආවත් ඉන්න නෑනෙ. කෝල්"
මම සිනාසී ඔහු ගේ කතා කරන ස්වරයට කණ් යොමා ගෙන සිටියෙමි.

"Hellow good evening, Lieutenant Dissanayake " yes sir ,හෙට යනවා ,හරි ,okay sir"

ඇමතුම අතර තුර මුදුව නළලත සිප ගත් ඔහු ..

"බබා මට යන්න වෙනවා දැන්"

යනුවෙන් පවසමින් දුරකථන ඇමතුම විසන්ධි කළේය.
මා ක්ෂණයෙන් බිඳී ගියා වැනි සිතුවිල්ලත් සමඟම ඔහු සමඟ නිදහසේ ගෙවන්නට සැලසුම් කළ පැය ගණන කව් රුන් හෝ උදුරා ගත්තා වැනි හැඟීමකින් මම ඔහු දෙස බැලුවෙමි. කිසිවක් කියා ගත නොහැකිව මම ඔහුගේ ගතට වාරු වී බර සුසුමක් පිට කළ හැරීමි.

කතා කරන්නට වුවමනා දෑ , කියන්නට සිතා ගෙන පැමිණි දෑ කිසිවක් ඔහු හමුවේ දිග හරින්නට වෙලාවක් නැති බව දැනෙන විට...

"අනේ මාත් එක්ක ඉන්න "යන්න එපා
යනුවෙන් ඔහු වළකා ලීම ට ද සිත් විය.

"මට ආදරෙයි ද ?" ඔහුගේ කණට කර අසන්නට ද සිත් විය.

නමුත් කඳුළු පෙන්විය නොහැක. ඔහු සේවයට යා යුතුමය. දිගු නිහඬ රාත්‍රීන් දරා ගැනීමත් ,යන්නට අවැසි වූ විට යන්නට හැරීමත් .. කවදා ,කොහේ ,කොයි අයුරින් සිටියත් ,බලන් සිටීමත් ..මිලිටරි ප්‍රේමයක ප්‍රගුණනය කර යුතු දෑ බව මා නොදන්නවා නොවේ.
ඔහු යා යුතුමය. හෙට උදෑසන වන විට ත්‍රිකුණාමලයේ නැගෙන හිර නාවික විධානයට ඔහුගේ සේවය වාර්තා කළ යුතුය.

තදින් මගේ අත ස්පර්ෂ කරමින් ආයාචනාත්මකව බලමින් ඔහු යන්නට අවසර පතයි..

"එහේ වැඩ හොඳට කර ගන්න අයියේ"
" පුළුවන් වුණ ගමන් කතා කරන්න"

ශක්තිමත්ව ඔහු දෙස බලා සිනාසෙන්නට තරම් මා ප්‍රේමය හමුවේ පරිණත වී සිටින්නේ ද...
හ්ම්ම්ම්ම්ම්.....

"වඩාත් වේදනාකාරී සමු ගැනීම් වන්නේ කිසිවක් නොකියූ මෙන්ම කිසිවක් වටහා නොදුන් සමු ගැනීම් ය".

ජයනි පෙරේරා.

Comments

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤